මුදල් ආරක්ෂාකාරීව හුවමාරු කිරීමට ඇති පැරණිතම සහ අද වෙනකනුත් වලංගු ක්‍රමයක් විදියට චෙක්පත් හඳුන්වන්න පුලුවන්.වර්තමානය වෙනකොට ව්‍යාපාරයක් ආරම්භ කරනවනම් ඒ එක්කම තමන්ගේ ව්‍යාපාරයන්ගේ නමින් හෝ පෞද්ගලික නමින් ජංගම ගිණුමක් ආරම්භ කිරීමට බොහෝ දෙනා පෙළඹෙන්නේ මේ නිසාමයි.අනවශ්‍ය වැල් වටාරම් නැතුව චෙක් එකක් කියන්නේ මොකෙන්ද කියන එකෙන්ම පටන් ගනිමුකෝ.

මොකක්ද මේ චෙක් එකක් කියන්නේ

ජංගම ගිණුම් හිමියෙක් නිශ්චිත මුදලක් නිශ්චිත දිනකට හෝ කාල සීමාවක් ඇතුළත නිශ්චිත පුද්ගලයෙකුට/ආයතනයකට හෝ චෙක්පත් රැගෙන එන්නාට ගෙවන ලෙසට තම බැංකුවට කරන ලිඛිත අණකිරීමක් චෙක්පතක් ලෙස හඳුන්වන්න පුලුවන්.

චෙක් පතක් ගන්නකොට සැළකිළිමත් විය යුතු කරුණු


දිනය (Date)

සාමාන්‍ය චෙක් පතක වලංගු කාලය මාස 06ක්.මේ මාස හය ගණනය වෙන්නේ චෙක් පතේ සඳහන් දින සිට ඉදිරියට මාස 06ක්.
නමුත් වලංගු දින ගණන පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති අවස්තා වලදී චෙක්පත වලංගු වන්නේ එම දින ගණන පමණි.
උදා:-දින 30ක් දක්වා වලංගු ලෙස සඳහන් චෙක් පතක වලංගුභාවය දින 30කි.

මුදල් ලබන්නා (Payee)

වලංගු චෙක් පතක Pay කියන තැන් හිස්ව තිබෙන්නට බැහැ.මෙතන මුදල් (Cash) හෝ ගෙවිය යුතු පුද්ගලයාගේ/ආයතනයේ හෝ නම සඳහන් විය යුතුයි.

මුදල (Amount)

චෙක් පතක මුදල ඉලක්කමින් සහ වචනවලින් යන දෙආකාරයටම සඳහන් කළ යුතුයි අදාළ තැන් වල.මේ දෙපළෙ තියෙන අගයන් දෙක අන්තිම සතය දක්වාම අනිවාර්‍යෙන් සමාන අගයන් විය යුතුයි.

අත්සන සහ නිල මුද්‍රාව (Signature)

චෙක් පතක වලංගුභාවය තීරණය කරන වැදගත්ම කොටස විදියට අත්සන හඳුන්වන්න පුලුවන්.චෙක්පත නිකුත් කරන්නේ සමාගමක් හෝ අයතනයක් විසින් නම් අත්සන සමඟ නිල මුද්‍රාවද තිබීම අත්වශ්‍ය කරුණක්.

රේඛනය (Crossing)

චෙක් පත් රේඛනය කියන්නේ චෙක් ගැන කතා කරද්දී ගොඩක් වැදගත් මාතෘකාවක්.අපි ඉදිරි ලිපියකදි චෙක්පත් රේඛනය ගැන වැඩිදුර කතා කරමු.දැනට සරලව මෙහෙම කියන්නම්.
චෙක්පත් රේඛනය කියන්නේ චෙක්පතේ මුහුණතෙහි සමාන්තරව අඳින ලද සරල රෙඛා දෙකක්.නමුත් අතැම් අය මේක තනි ඉරකින්ද චෙක්පත රේඛන කිරීම සිදුකරනවා.සරලව කියුවොත් මේ කියන විදියට ඉරක් හෝ සමාන්තර ඉරි දෙකක් ඇඳපු චෙක් පතක් කවුන්ටරය හරහා මුදල් බවට පත් කර ගත නොහැකියි.මෙවැනි චෙක්පත් අනිවාර්‍යෙන්ම බැංකු ගිණුමකට තැන්පත් කළයුතු වෙනවා.

වැරදි නිවැරදි කිරීම් (Alterations)

චෙක් පතක් ලිවීමේදී චෙක්පත ලියන කෙනා අතින් යම් කිසි අත පසුවීමකින් වැරැද්දක් සිදු වෙලා නිවැරදි කිරීමක් සිදුකළොත්  (කපලා හැදුවොත්) අන්වාර්‍යෙන්ම ඒ තැනට අදාළව නැවත අත්සනක් යෙදිය යුතුමයි.ආයතනයක් මගින් නිකුත් කරන චෙක්පතක් නම් අනිවාර්‍යෙන්ම අත්සන් සමඟ නිල මුද්‍රාවද තිබිය යුතුයි.

චෙක් පතක මුහුණත

පහතින් දක්වලා තියෙන්නේ චෙක්පතක මුහුණතේ දැකගන්න පුලුවන් දේවල් ගැන සරල විස්තර කිරීමක්.

Image from Lankaclear (PVT) Ltd.

කලින් කියුව වගේ ඉදිරි ලිපි වලදි චෙක්පත් ගැන තවදුරටත් කතා කරමු.මේ ලිපියෙ සඳහන් කරුණූ ගැන ප්‍රශනයක් තියෙනවනම් පහළීන් කමෙන්ට් කරන්න.තව දැනගන්න දෙවල් තියෙනවනම් ඒ ගැනත් සඳහන්ක් කරන්න අනිවාර්‍යෙන්ම.ඉදිරි ලිපි වලදි කරුණු අරගෙන එන්න ඒක ලොකු පහසුවක් වේවි.