"ජූලියන් අසාන්ඡ්" කිව්වම දන්නෙ නැති වුණාට -විකිලීක්ස්- ගැන නම් කවුරුත් අහල තියෙනවනෙ. මේ කියන්න යන ජූලියන් අසාන්ඡ් තමයි විකිලීක්ස් අඩවියේ නිර්මාතෘ. ආන්දෝලනාත්මක රහස් තොරතුරු හෙළිදරව් කරන වෙබ් අඩවියක් වුණු විකිලීක්ස් නිර්මාණය කළේ -ජූලියන් පෝල් අසාන්ඡ්- කියන මේ ඕස්ට්‍රේලියානු ජාතික පරිගණක වැඩසටහන් නිර්මාණකරුවායි. ඒ වගේම ඔහු අති දක්ෂ -හැකර්- කෙනෙක්.
අසාන්ඡ් -හැක්- කරන එක පටන් ගන්නෙ 1987 -"මෙන්ඩැක්ස්"- කියන නමින්. ජූලියන් එක්ක වෙබ් අඩවිය හැක් කරන්න තවත් දෙන්නෙක් එකතු වෙලා හිටියා. මේ තුන්දෙනා එකතු වෙලා හදාගත්තු -හැකරු කල්ලිය- කඩා පැන්නේ ලේසි පාසු වෙබ් අඩවිවලට එහෙම නෙවෙයි. පෙන්ටගනයේ, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, ඇමරිකානු නාවික හමුදාවේ වගේ වෙබ් අඩවි වලටත්, තවත් ඔස්ට්‍රේලියානු ප්‍රබල වෙබ් අඩවි ගණනාවකටත් ජූලියන් අසාන්ඡ්ගෙන් තර්ජන එල්ල වුණා. ඔස්ට්‍රේලියාවේ උන්නු දැවැන්තම -හඳුනා නොගත් හැකර්- විදිහට නම් වුණේ ජූලියන් අසාන්ඡ් තමයි.
ජූලියන් අසාන්ඡ් ගැන ලෝකය දැනගන්න පටන් ගත්තෙ නම් එයාගෙ හැක් කිරීම් නිසා නෙවෙයි. විකිලීක්ස් වෙබ් අඩවිය නිසා. ජූලියන් -විකිලීක්ස්- වෙබ් අඩවිය නිර්මාණය කළේ 2006 අවුරුද්දේදී. හිටපු ඇමරිකානු හමුදා නිළධාරිනියක් වුණු චෙල්සියා මැනින්ග් ලබා දුන්නු තොරතුරු මාලාවක් විකිලීක්ස් වෙබ් අඩවියේ පලවීමත් එක්ක තමයි විකිලීක්ස් වෙබ් අඩවියත්, ජූලියන් ගැනත් ලෝකය පුරාම කතා බහක් ඇති වෙන්නෙ. ඇෆ්ගනිස්ථානු යුද ලියකියවිලි, ඉරාක යුද ලියකියවිලි, බැග්ඩෑග් ගුවන් ප්‍රහාර වීඩියෝ, වගේ රහස් තොරතුරු විකිලීක්ස් වෙබ් අඩවියේ පලවීමත් එක්කම විකිලීක්ස් වෙබ් අඩවිය ලෝකය පුරා ලොකු ආන්දෝලනයක් ඇති කළා.
2010 අවුරුද්දෙදී -ලීක්- වුණු මේ තොරතුරු වලින් ඇති වුණ ආන්දෝලනයත් එක්කම ඇමරිකානු එක්සත් ජනපද රජය -විකිලීක්ස්වලට එරෙහිව අපරාධ පරීක්ෂණයක් දියත් කරලා එක්සත් ජාතීන්ගේ සහයත් ඉල්ලා හිටියා. ජූලියන් අසාන්ඡ් පරිගණක ශිල්පියෙක් මිස මාධ්‍යවේදියෙක් නොවුණත් විකිලීක්ස් අඩවිය හරහා අසාන්ඡ් මාධ්‍යවේදියෙක් බවටත් පත් වුණා. ග්වන්තනමෝ සිරකඳවුරේ තොරතුරු ගවේෂණාත්මකව වාර්තාකරණය වගේ දේවල් වලින් අසාන්ඡ් ලෝකයේ කතාබහට ලක් වුණු ගවේෂණශීලී මාධ්‍යවේදියකුත් වුණා. ජූලියන් අසාන්ඡ්ගෙ The Cry of Blood ලිපිය වෙනුවෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන රාජ්‍ය නොවන සංවිධානයෙන් -නව මාධ්‍ය සම්මානය- හිමිවුණා. -ජනමාධ්‍යවේදය උදෙසා වූ මාර්තා ගෙලොම් සම්මානයත් ජූලියන් අසාන්ඡ්ට ලැබුණා. ඔස්ට්‍රේලියානු ජනමාධ්‍යවේදී සංවිධානයේ ගෞරව සාමාජිකත්වයත් ජූලියන් අසාන්ඡ්ට හිමිවුණා.
අන්තර්ජාල නිදහස වෙනුවෙන් සටන් වැදි සන්නද්ධ සොල්දාදුවා- කියලා The Age කියන පුවත්පතෙන් හඳුන්වා දුන්නු මේ පෙරළිකාර අන්තර්ජාල මාධ්‍යවේදියාගේ අපල කාලය එළඹෙන්නෙ 2008 අවුරුද්දෙදී ඇමරිකානු රහස් තොරතුරු ඔහුගෙ-විකිලීක්ස්-වෙබ් අඩවිය හරහා එළිදරව් කිරීමත් එක්කයි.
2010 දී ජූලියන් අසාන්-ව ස්වීඩනයට පිටුවහල් කෙරෙනව. එහෙදි අසාන්ඡ්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා නගනව. දිගින් දිගටම ජූලියන් අසාන්ඡ් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඇමරිකානු රහස් තොරතුරු ප්‍රකාශයට පත්කරපු වරදට වන්දිගෙවීමේ ඊළඟ පියවර ස්වීඩනයෙන් තමන්ව ඇමරිකානු එක්සත් ජනපදයට පාවාදීමද කියලා අසාන්ඡ් සැක පහළ කරනවා. ඊට පස්සේ 2010 දෙසැම්බර් 07 වැනිදා ජූලියන් අසාන්ඡ් බ්‍රිතාන්‍ය පොලිසියට බාර වෙනවා. ඇප මත නිදහස් කරන්න කලින් බ්‍රිතාන්‍ය පොලිසිය විසින් ජූලියන් අසාන්ඡ්ව දවස් දහයක් තිස්සේ හුදෙකලා සිරගත කිරීමකට ලක් කරනවා. ඇපමත නිදහස් වුණු ජූලියන් අසාන්ඡ්ට ඉක්වදෝරයේ දේශපාලන ආරක්ෂාව හිමි වෙනවා. ඒ නිසා ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ ජූලියන් අසාන්ඡ්ට නවාතැන් ලැබෙනවා.
එදා ඉඳන් මේ වෙන තෙක් ජූලියන් අසාන්ඡ් ඉන්නෙ ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයෙ. වුවමනා නම් එයින් පිටවෙලා යන්නත් අසාන්ඡ්ට අවසර තියෙනව. ඒත් එළියට ආපු ගමන්ම ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමේ අවදානමකුත් අසාන්ඡ්ට තියෙන නිසා ඔහු තව දුරටත් ඉක්වදෝර් තානාපති කාර්යාලයේ ආරක්ෂාව යටතේම රැදී ඉන්නවා.
හතළිස් හය හැවිරිදි අසාන්ඡ් දැනට අවුරුදු පහක් තිස්සේම තානාපති කාර්යාලයේ පුංචි කොටසක තමයි ජීවත් වෙන්නෙ. ඉක්වදෝර් තානාපති කාර්යාලය ඇතුලේ
අසාන්ඡ්ට වෙන් කෙරිලා තියෙන ඉඩ ප්‍රමාණය මීටර් 4x4 වපසරියක්. අසාන්ඡ් මේ පුංචි ඉඩම දෙකට බෙදාගෙන එක කොටසක් තමන්ගෙ කාර්යාලය විදිහටත් අනිත් කොටස තමන්ගෙ කාමරය විදිහටත් පාවිච්චි කරනවා. 2012 ජූනි 18 වෙනිදා ඉදන් අසාන්ඡ් ජීවත් වෙන්නෙත්, ඔහුගෙ විකිලීක්ස් වෙබ් අඩවියේ වැඩකටයුතු කරගෙන යන්නෙත් මේ පුංචි කාමරයේ ඉඳන්. මේ පුංචි කාමරයට කොටුවුණ ජීවිතයෙදී අසාන්ඡ්ගෙ ළඟින් ඉන්න එකම ඥාතියා පුංචි පූස් පැටියෙක් විතරයි.
මේ පුංචි පූස්පැටියාට එයාගෙම කියල ට්විටර් එකවුන්ට් එකක් පවා තියන බවයි අසාන්ඡ්ගෙ තොරතුරු ගැන ඇහැගහගෙන ඉන්න මාධ්‍යවේදීන් කියන්නෙ.බොහොමයක් දෙනා කියන්නෙ අසාන්ඡ් මේ බළල් පැටිය ඇති කරන්නෙත් අනියම් විදිහකින් ප්‍රසිද්ධියක් ලබා ගන්න උවමනාවෙන් කියලයි. ඒත් අසාන්ඡ් නම්
කියන්නෙ මේ බළල් පැටියා තමන්ගෙ දරුවන්ගෙන් ලැබුණු තෑග්ගක් කියලයි. අසාන්ඡ්ට දරුවන් කීප දෙනෙක් ඉන්න බව කිව්වත් ඒ අය ගැන තොරතුරු රහසිගතවම තියාගන්න අසාන්ඡ් පරිස්සම් වෙනවා. ඒ වගේම කිසිම වෙලාවක රෝහලකටවත් යන්න සිද්ධ නොවෙන්න තරමට තමන් ගැන පරිස්සම් වෙන්නත් අසාන්ඡ් සැලකිලිමත්. අසනීපයකටවත් ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතට එන්න සිද්ධ වුණොත් තමන්ට තියෙන ආරක්ෂාවත් නැති වෙන බවත්, තමන්ව අත්අඩංගුවට ගැනෙන බවත් අසාන්ඡ් කියනවා.
ජූලියන් අසාන්ඡ්ගෙ කෑම බීම ටික පවා ලැබෙන්නෙ හරිම සැලසුම් ගත ක්‍රමයකට අසාන්ඡ්ට සමීපම කෙනෙක් ඔහුගෙ කෑම බීම වගේ අවශ්‍යතා ටික ගෙනවිත් දෙනවා. -කෑම බීම ටික පවා ගේන්නෙ හරිම පරිස්සමින්..-New Yorker සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දුන්නු වෙලාවක ජූලියන් අසාන්ඡ් කියනවා. -හැමදාම එකම තැනකින් කෑම ගත්තත් මගේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් කමක් අවදානමක් තියෙනව. අසාන්ඡ්ගෙ ජීවිතය මේ තරම් අනතුරකට වැටුණේ ඇමරිකානු රජයේ රහස් ලියකියවිලි හෙළිදරව් කිරීම නිසා විතරක්ම නෙවෙයි. 2016 ඇමරිකානු ජනාධිපතිවරණයට සතියකට කලින් ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගෙ මැතිවරණ ප්රචාරක කළමනාකරු වුණු ජෝන් පොඩෙස්ටාගෙත්, Democratic National Committee (DNC) හිත් ඊ මේල් විකිලීක්ස් අඩවියේ පල කිරීමත් තවත් කාරණයක්. අසාන්ඡ් කියන්නෙ තමන්ව මරා දමන්න ක්ලින්ටන්ට වුවමනා වෙලා තියෙනවා කියලයි.
ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆි මරා දැමීම ගැන පුවතට ක්ලින්ටන් ප්‍රතිචාර දක්වපු ආකාරය ගැන 2016 පෙබරවාරි මාසයේදී විකිලීක්ස් වෙබ් අඩවියෙ ජූලියන් අසාන්ඡ් ලියා තියනවා. -අපි ආවා. අපි දුටුවා. ඔහු මියගියා.- ඇෆ්ගනිස්ථානයේ කාබුල්හිදී වාර්තාකරුවන්ට හිලරි ක්ලින්ටන් කියනවා. ඒ ගැන අසාන්ඡ්ගේ කතුවැකියේ
මෙහෙම ලියලා තියෙනවා. -හිලරි ක්ලින්ටන් පිළිබද ගැටලුව වන්නේ ඇය යුධ උකුස්සියක් වීම පමණක්ම නොවේ. ඇය මිනිසුන් මරා දැමීමේ අශෝභනආශාවකින් යුක්ත යුද උකුස්සියකි. හමුදාවක් බාර දෙනවා තියා ඇය ආයුධ වෙළඳ සලක් ළඟවත් තැබීමට සුදුසු අයකු නොවේ. ඇය කිසිසේත් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් නොවිය යුතුමය. ජූලියන් අසාන්ඡ්ගේ විකිලීක්ස් වාර්තා ඇමරිකාවේ විදේශ ප්රතිපත්තියටත් ජාත්‍යන්තර ප්‍රජාවටත් දැඩි ප්‍රහාරයක් බව හිලරි ක්ලින්ටන් වතාවක් ප්‍රකාශ කරලත් තියෙනව.
විකිලීක්ස් වලින් ලීක් කරපු ඊ මේල් තමන්ගේ පරාජයට එක් හේතුවක් වුණා කියලත් ජනපතිවරණයෙන් පස්සෙ හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කරල තියෙනවා. අලුත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් පස්සෙ ජූලියන් අසාන්ඡ් ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ තවත් ඉඟි කිරීමක් කළා. ඒ CIA ඔත්තු සේවාවේ හැක් කිරීම් පිළිබද රහස් රාශියක් එළිදරව් කරන බව කියලා. ලෝකයේ බලවත්ම රටක බලවත්ම ධුරයටත් බලපෑම් කරන්න සමත් වුණ මේ අපූරු නිර්භීත මාධ්‍යවේදියා ඊළඟට හෙළිදරව් කරන කාරණා මොන වගේ වේවිද.? අපි වගේම ඒ තොරතුරු දැනගන්න මුළු ලෝකයම බලා ඉන්නවා.
උපුටා ගැනීම:- රූ පරිගණක සඟරාව
0 Comments